FaLang translation system by Faboba
අනතුරුදායක ගස් ඉවත් කිරීම

ගසේ යම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානියක් විය හැකි අයුරින් පවතින අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සදහා ක්‍රියා මාර්ග ගනු ලැබේ. මෙහි දී ප්‍රාදේශීය සභා‍වේ සභාපතිවරයා වෙතින් කරන ලිඛිත ඉල්ලීමක් ද සමග ප්‍රාදේශීය සභා‍වේ ලේකම් වෙත අයදුම් පතක් ඉදිරිපත් කල යුතු වේ. ගස හෝ ගසේ අත්ත දින 14 ක් ඇතුලත ඉවත් නොකෙරුනේ නම්, එය ඉවත් කර ඒ සදහා ගිය වියදම ගසේ අයිතිකරුගෙන් අයකර ගැනීමට සභාපතිවරයාට බලය ඇත.

අනුකූලතා සහතික නිකුත් කිරීම

මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ යම් ගොඩනැගිල්ලක් අනුමත මානක සැලැස්මට අනුකූලව ඉදිකර ඇති බව දැක්වීම සදහාය. ගොඩනැගිල්ල ඉදි කල පසු එහි පදිංචි වීමට පෙර ප්‍රාදේශීය සභාව වෙතින් මෙය ලබා ගත යුතුය.

මේ සදහා,

  • කාර්යාලයෙන් (රු. 200.00 = + වැට්) මුදලක් ගෙවා අයදුම් පතක් ඉදිරිපත් කල යුතු අතර ඊට අමතරව ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව ද යම් මුදලක් ගෙවිය යුතු වේ.
  • වසරක් තුල ඉදිකිරීම් අවසන් කල නොහැකි නම් කාලය දීර්ඝ කරගත යුතුය.
  • අනුමත සැලැස්මේ වලංගු කාලය වසර 3 ඉකුත් වී ඇත්නම් අදාල අනුමත සැලැස්මේ පිටපතක් සමග නව අයදුම් පතක් මගින් නැවත සැලැස්ම ඉදිරිපත් කල යුතුය.
  • තාක්ෂණ නිලධාරී හෝ මහඡන සෞඛ්‍යය පරීක්ෂක නිර්දේශ කිරීමෙන් පසු සැලසුම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබේ.
  • කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු අනුකූලතා සහතිකය නිකුත් කරනු ලැබේ.

ආයුර්වේද වෛද්‍ය සේවා සැපයීම

හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡනතාවගේ සෞඛ්‍යය තත්වය නංවාලීම උදෙසා ඡනතාව වෙත නොමිලේ වෛද්‍ය පහසුකම් සහ ඖෂධ සපයාදීම උදෙසා හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන කීපයක්ම ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.

හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් පවත්වා ගෙන යනු ලබන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන

  • හෝමාගම
  • වෑතර
  • ඡම්බුගස්මුල්ල
  • ගොවිඡනපදය
  • වෙනිවැල්කොල
  • පිටිපන
  • බ්‍රාහ්මනගම
  • මත්තෙගොඩ
  • ආරච්චිගොඩ

කසල ඉවත් කිරීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සදහා විශාල සේවක සංඛ්‍යාවක් සහ ට්‍රැක්ටර් රථ යොදවා ඇත.

කසල ඉවත් කිරීමේ කාල සටහන - හෝමාගම කලාපය කාල_සටහන-හෝමාගම

කසල ඉවත් කිරීමේ කාල සටහන - වෑතර කලාපයකාල_සටහන-වෑතර

කුණු ප්‍රවාහනය

මෙහි දී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ද සමග සභාපතිවරයා / ලේකම්වරයා වෙත අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.

ගාස්තුව පිළිබද තීරණයක් ගැනීමෙන් පසු අදාල සේවාව ලබා ගත හැකි වේ.

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ප්‍රාදේශීය සභා‍වක් විසින් සිය බල ප්‍රදේශය තුල පිහිටි සියලු ඉදිකිරීමේ ක්‍රියාකාරකම් පාලනය හා නියාමනය කරයි. ඒ අනුව හෝමාගම ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශය තුල ඉදි කිරීම් ක්‍රියාකාරකම්වල යෙදෙන සියලුම පුද්ගලයින් මෙම ප්‍රාදේශීය සභා‍වෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය.

හෝමාගම ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශය 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති බැවින් එම නීති රීති වලට අනුකූලව ඉදිකිරීම් කටයුතු සිදු කල යුතුය.

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ පියවර

  • ගොඩනැගිලි අයදුම් පත්‍රයක් (රු. 300.00 = + වැට් ) මුදල් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත යුතුය.
  • එම සම්පූර්ණ කල අයදුම් පත සමග අනුමත කිරීමට ඇති ගොඩනැගිල්ලේ සැලැස්ම, එහි ඡායා පිටපත් 3 ක්, අනුමත ඉඩමේ සැලැස්ම හා එහි ඡායා පිටපතක්, ඔප්පුවේ පිටපතක් ගොඩනැගිලි අංශය වෙත ලබා දී ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව (මේ පිළිබද විස්තර අයදුම් පතෙහි සදහන් කර ඇත.) මුදල් ගෙවා ලදු පතක් ලබා ගත යුතුය.
  • ඉන්පසු සභාවේ තාක්ෂණ නිලධාරි / මහඡන සෞඛ්‍යය පරීක්ෂක විසින් අදාල ස්ථානය පරීක්ෂා කරනු ලබන අතර ඔවුන්ගේ නිර්දේශය සමග එම ලිපි ගොනු සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබා දෙනු ලැබේ.
  • අනුමත මුද්‍රාව තැබීමෙන් පසුව අදාල අනුමත සැලැස්ම ලබාගත හැකි වේ.
    (වැඩිදුර විස්තර එම අයදුම් පතෙහි සදහන් කොට ඇත.)

ඡල නල එලීම සදහා මාර්ග කැඩීම

මෙහි දී,

  • ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.
  • ඡල සම්පාදන මණ්ඩලයේ ලිපියක් ඉදිරිපත් කල යුතුය.
  • තාක්ෂණ නිලධාරියාගේ නිර්දේශය මත අදාල ගාස්තුව අය කොට අනුමැතිය ලබා දෙනු ලැබේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීම

මෙය පවතින්නේ යම් ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශයක පිහිටි කර්මාන්තශාලා සහ ව්‍යාපාර මධ්‍යම පරිසර අධිකාරිය විසින් පනවා ඇති පාරිසරික ප්‍රමිතීන් පවත්වා ගෙන යන්නේ ද යන්න තහවුරු කිරීම සදහා වේ. 2000.11.22 දි නැති අංක 1159/22 දරණ ගැසට් පත්‍රය මගින් පාරිසරික අමාත්‍යවරයා විසින් සෑම ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශයකම පිහිටි සියලුම කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර සදහා මෙම බලපත්‍රය ලබා ගත යුතු බවට නියෝග කර ඇත.

පරිසර බලපත්‍රය ලබා දීමේ ක්‍රියාවලිය

  • පරිසර බලපත්‍රය ලබා ගැනීමට පළමුව පරිසර නිර්දේශයක් ලබා ගත යුතු වේ.
  • පරිසර නිර්දේශය ලබා ගැනීම සදහා වන ඉල්ලුම් පත්‍රයක් ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් නොමිලේ ලබාගත හැක.
  • පරිසර නිර්දේශයක් ලබා ගැනීම සදහා ඉඩමේ ප්‍රමාණය පර්චස් 40ට අඩු නොවිය යුතුය. ඒ සදහා ඉඩමේ ඔප්පුව සහ සැලැස්ම ද ඉදිරිපත් කළ යුතු වේ.
  • කර්මාන්තයට ආයෝඡනය කරන මුදල අනුව ගෙවිය යුතු පරීක්ෂණ ගාස්තුව වෙනස් වේ.
  • ඉන්පසු එම ඉල්ලුම් පත සදහා සභාවේ තාක්ෂණ නිලධාරීන්ගේ හා මහඡන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව පරිසර කමිටුව හරහා නිර්දේශයන් ලබා දෙනු ලබයි.
  • මෙම පරිසර නිර්දේශය වලංගු වන්නේ වසරක් සදහා පමණක් වන අතර එය ලබා ගැනීමෙන් පසු ඔහුට / ඇයට පරිසර බලපත්‍රය සදහා අයදුම් කල හැක.
  • පරිසර බලපත්‍රක් ලබා ගැනීමට රු. 115.00= ක මුදලක් ගෙවා අයදුම් පතක් මිලදී ගත යුතුය.
  • එමෙන්ම ඒ සදහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත සමග ඉඩමේ ඔප්පුවේ පිටපතක්, ඉඩමේ හා ගොඩනැගිල්ලේ අනුමත මැනුම් සටහනේ පිටපත් සහ පරිසර නිර්දේශය ඉදිරිපත් කළ යුතු වේ.
  • මෙහිදී ද පෙර පරිදිම පරිසර  කමිටුව හරහා නිර්දේශයන් ලබා දෙනු ලබයි.
  • මෙම පරිසර බලපත්‍රය වලංගු වන්නේ වසර 3 ක් සදහා පමණක් වේ. එහෙයින් වසර 3 ක් ගත වීමට පෙර එය අලුත් කිරීම සදහා ඉල්ලුම් පත්‍රයක් රු. 57.50 ක මුදලක් ගෙවා මිල දී ගෙන එය නිසි පරිදි සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතු වේ.
  • ඉන් පසුව නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සභාවේ ආදායම් පරීක්ෂකවරයා විසින් සිදු කිරීමෙන් අනතුරුව පරිසර කමිටුව හරහා නව පරිසර බලපත්‍රය ලබා දෙනු ලබයි.

ප්‍රාදේශීය සභාවට අයත් ක්‍රීඩාපිටි හා ශාලාවන් කුලියට දීම

මෙහි දී අදාල අධිකාරීන්ගේ හෝ පොලීසියේ අනුමැතිය සහිතව කරනු ලබන ලිඛිත ඉල්ලීම් පිළිබදව සලකා බලා අදාල ගාස්තුව අය කොට ප්‍රාදේශීය සභා‍වේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දෙනු ලබයි.

පුරවැසි ප්‍රඥප්තිය

හෝමාගම ප්‍රාදේශීය සභාවේ පුරවැසි ප්‍රඥප්තිය             සිංහලපුරවැසි_ප්රඥප්තිය

බිම් කට්ටි අනුමත කිරීම

 

ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශය තුල සිදු කෙරෙන සියලු ඉඩම් සංවර්ධනය කිරීම් හා කොටස් වලට කැඩීම් පළමුව ප්‍රාදේශීය සභා‍වේ ලියාපදිංචි කල යුතුය. මෙහි අරමුණ නගරික ප්‍රදේශයන් හි ඉඩම් සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් නියාමනය කිරීමයි.

සුදුසුකම්

  • ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශය තුල පිහිටා ඇති කොටස් වලට කැඩීම හෝ සංවර්ධනය කිරීමට නියමිත ඉඩමක හිමිකරුවෙකු විය යුතුය.
  • හිමිකරු සතුව ලියාපදිංචි ඔප්පුවක් තිබිය යුතුය.

බිම් කට්ටි අනුමත කිරීමේ පියවර

  • ඉඩම් අනුබෙදුම් අයදුම් පත්‍රයක් ( රු. 300.00 = + වැට් ) මුදල් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගැනීම.
  • එම සම්පූර්ණ කල අයදුම් පත සමග අනුමත කිරීමට ඇති ඉඩමේ සැලැස්ම, එහි ඡායා පිටපත් 3 ක්, මුල් සැලසුම්වල පිටපත් සහ අදාල ඔප්පුවේ පිටපතක් ගොඩනැගිලි අංශය වෙත ලබා දී ඉඩමේ කැබලි ප්‍රමාණය අනුව (මේ පිළිබද විස්තර අයදුම් පතෙහි සදහන් කර ඇත.) මුදල් ගෙවා ලදු පතක් ලබා ගත යුතුය.
  • ඉන්පසු සභාවේ තාක්ෂණ නිලධාරියෙකු විසින් ඉඩම පරීක්ෂා කරනු ලබන අතර එම ලිපි ගොනු සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබා දෙනු ලැබේ.
  • අනුමත මුද්‍රාව තැබීමෙන් පසුව අදාල අනුමත සැලැස්ම ලබාගත හැකි වේ.
    (වැඩිදුර විස්තර එම අයදුම් පතෙහි සදහන් කොට ඇත.)

මල අපද්‍රව්‍ය ඉවත් කීරීමේ සේවාව

මේ යටතේ නිවාස සහ වෙනත් ස්ථාන වල වැසිකිලි වලවල් හිස් කිරීම සිදු කරනු ලබයි.

මෙහි දී,

  • අයදුම් පතක් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කල යුතුය.
  • මහඡන සෞඛ්‍යය පරීක්ෂක විසින් තක්සේරු කරන ලද ගාස්තුව අය කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් අනුමැතිය ලබා දේ.

කාලීන වශයෙන් වැදගත්වන සෞඛ්‍යය සේවාවන්ට අදාල ව්‍යාපෘතීන් ද හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

මහඡන පැමිණිලි පිළිබදව කටයුතු කිරීම

හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහඡනතාව විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ පැමිණිලි පිළිබදව ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට එම ගැටලු සමතයකට පත්කර දීම ද මෙම ප්‍රාදේශීය සභා‍ව මගින් සිදු කරයි.

වීදි, පොදු ස්ථාන, සහ පොදු ගොඩනැගිලි වීදි ආලෝක කිරීම

ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවල වීදි පහන් සවි කිරීමේ හා නඩත්තු කිරීමේ කටයුතු හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරේ. මෙහි දී ඡනතාව විසින් කරනු ලබන වාචික හා ලිඛිත ඉල්ලීම් පිළිබදව සලකා බලනු ලැබේ.

සුසාන භූමි හා ආදාහනාගාර සේවාව

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සියලු සුසාන භූමි නඩත්තු කරමින් පවත්වා ගෙන යාම ප්‍රදේශීය සභාව මගින් සිදු කරනු ලැබේ.

  • ආදාහනාගාර සේවාව සැපයීමේ දී මරණ සහතිකය සහ ප්‍රාදේශීය සභා‍වේ සභාපතිවරයා වෙතින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ද සමග  ප්‍රාදේශීය සභා‍වේ ලේකම් වෙත අයදුම් පතක් ඉදිරිපත් කල යුතු වේ.
  • අදාල ගාස්තුව අය කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභා‍වේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දේ.

සුසාන භූමි වල ස්මාරක ඉදි කිරීම සදහා අනුමැතිය ලබා දීම.

මේ සදහා මරණ සහතිකය, ස්මාරකයේ සැලැස්ම, මියගිය තැනැත්තා එම ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශය තුල ඡීවත් වූවෙකු බවට වන ලිපියක් සමග අයදුම් පතක් ප්‍රාදේශීය සභා‍වේ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. මහඡන සෞඛ්‍යය පරීක්ෂක / තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය මත ප්‍රාදේශීය සභා‍වේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දෙනු ලැබේ.

හෝමාගම මූලික රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම

මෙම වසරේදී හෝමාගම නගරය මුල් කර ගනිමින් පැවැති "බුද්ධ රශ්මි" පොසොන් කළාපය වෙනුවෙන් හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් ඉදි කරන ලද පොසොන් තොරණ සහ දන්සල සදහා ලද ආධාර මුදලින් ඉතිරි වූ රැපියල් ලක්ෂ හතක මුදලකින් හෝමාගම මූලික රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම 2023.08.21 දින එම වෛද්‍ය උපකරණ තොගය හෝමාගම මූලික රෝහල වෙත භාරදීම ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක ප්‍රමුඛ හෝමාගම ප්‍රාදේ2ශීය සභාවේ නිළදාරීන් විසින් එම රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරැවන් බණ්ඩාර මහතා වෙත පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට වැඩ අධිකාරී ප්‍රමිල් දර්ශික සුරේන්ද්‍ර ,ප්‍රධාන ආදායම් පරීක්ෂක සුජීව පතිරණ ඇතුළු නිළදාරී පිරිසක් ද සහභාගී විය.